මේ පැහැදිලි සඳපානේ : දඟලන තරු ලැජ්ජාවේ !

ජාතික ජනබලවේගය පක්ෂයේ සමුළුවක් අමතමින් ජවිපෙ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා හරි ලස්සන කතාවක් කර තිබුණේය. ඒ කතාවේ තැනක කියන්නේ ශ්‍රී ලංකාවට ඇති වී තිබෙන අර්බුදකාරී තත්ත්වයට කාට විසඳුම් නැති වුණත් ජාතික ජන බලවේගයට විසඳුම් ඇති බවය. ජාතික ජන බලවේග ආණ්ඩුවක් පිහිටවූ පසු මාස කිහිපයක් ඇතුලත පවතින අර්බුදයෙන් ගොඩ ඒමට හැකියාවක් ඇති බවත් ඒ සඳහා වැඩපිළිවෙළක් ඇති බවත් ටිල්වින් ඒ කතාවේදී කියා තිබුණේය.

සාමාන්‍යයෙන් ලංකාවේ වමේ පක්ෂ ගැන බොහෝ දෙනෙකු දෙන විවේචනයක් නම්, වම්මු කිසිඳු සමාජ ආර්ථික ප්‍රශ්නයකට අදාළව නිශ්චිත විසඳුමක් යෝජනා නොකරන බවය. වම්මුන්ගේ ඇත්තේ කයිවාරු විතරක් බවය. එවැනි පසුබිමක ටිල්වින්ගේ කතාව ලස්සන වන්නේ ටිල්වින් මෙරට පවතින විදේශ විනිමය ප්‍රශ්නයට මේ කතාවේදී විසඳුමක් ඉදිරිපත් කර තිබු නිසාය. ඒ ජාතික ජන බලවේගය ආණ්ඩුවක් පිහිටවූ පසු එම ආණ්ඩුව ජනතාව විශ්වාස කරන බවත් එවිට විදේශගත ශ්‍රමිකයන් ශ්‍රී ලංකාවට මුදල් එවන බවත් ඒ හරහා මෙරට විදේශ විනිමය අර්බුදය විසඳන බවත්ය. තම ආණ්ඩුවක් යටතේ විදේශගත ශ්‍රමිකයන් ඩොලර් මිලියන 700ක් පමණ මසකට එවනු ඇති බවත් එමගින් ඉන්ධන සහ ගෑස් මිළ දී ගත් පසු තවත් ඩොලර් මිලියන 250 ක් ඉතිරි වනු ඇති බවත් ය.

ටිල්වින් මේ විසඳුම් දෙන්නේ නිල වශයෙන් බංකොලොත් බව ප්‍රකාශ කළ රටකටය. නැතිනම් ණය පොළී වාරික ගෙවාගන්නවත් බැරිවූ රටකටය. ඒ ගැන අමුතුවෙන් කියන්න දෙයක් නැත. රටට වෙච්ච නස්පැත්තිය ගැන දැන් ජනතාව දන්නේ අත්දැකීමෙන්ය. එනිසා රට හදන්න තමන්ට දෙන්න කියනවාට අමතරව රටේ තීරණාත්මක ප්‍රශ්න වලට ඒ උදවිය දෙන විසඳුම් ගැනත් ජනතාව විමසිලිමත්ය. ටිල්වින්ගේ විදෙස් සංචිත අර්බුදයට දෙන විසඳුමත් තේරුම් ගන්න වෙන්නේ අන්න ඒ අර්ථයෙන්ය. ටිල්වින් පමණක් නොව විදේශගත ශ්‍රමිකයන් එවන ඩොලර් වලින් විදෙස් සංචිත අර්බුදය විසඳාලීමක් ගැන මීට පෙර ජවිපෙ -ජාජබ නායක අනුර දිසානායකද කියා තිබුණේය. ඒ විදෙස්ගත එක් ශ්‍රමිකයකු වෙතින් දැනට එවන මුදල් ප්‍රමාණයට අමතරව වැඩිපුර ඩොලර් 500ක් එවන්න කියන කතාවක්ය. ඒ අර්ථයෙන් මෙය තේරුම් ගන්න සිදුවන්නේ ජවිපෙ-ජාජබ නිල විසඳුම ලෙසය.

දැන් ප්‍රශ්නය වන්නේ අනුරලා ටිල්වින්ලා කියන විදිහට ලංකාවේ විදෙස් සංචිත අර්බුදය එතරම් සරලද යන්නය. ඒ බව තේරුම් ගන්න වැඩිදුර එහෙමෙහෙ යායුතු නැත. 2023 වසරට යාම ඊට හොඳටම ප්‍රමාණවත්ය.

රජයේ නිල දත්ත වලට අනුව 2023 අයවැය තුළ ආදායම රුපියල් බිලියන 3,415 ක්ය. පොලී ගෙවීම් හැර වියදම රුපියල් බිලියන 3,626 ක්ය. ප්‍රාථමික අයවැය හිඟය රුපියල් බිලියන 211 ක්ය. පොලී ගෙවීම් සඳහා රුපියල් බිලියන 2,193 ක්ය. මුළු අයවැය හිඟය රුපියල් බිලියන 2,404 ක්ය. මෙහිදී පැහැදිළිව පෙන්නුම් කරන්නේ, පොලී වියදම පමණක් රුපියල් බිලියන 2,193ක් නිසා, රුපියල් බිලියන 2,404ක අයවැය හිඟයක් දැනටමත් ඇති බවය. දැන් ප්‍රශ්නය නම් මේ හිඟය පියවන්නේ කොහොමද යන්නය. පවතින ක්‍රමය අනුව ඒ හිඟය පුරවගන්න වෙන්නේ අලුතෙන් ණය අරගෙනය. ඊට අමතරව මීට පෙර ගෙන ඇති ණයත් ගෙවීමට ඇත. ඒ වියදම් එකතු කළහොත් රුපියල් බිලියන 7879ක් පමණ වන බව ආර්ථික විශ්ලේෂකයන්ගේ අදහසය. ඒ අනුව 2023 වසරේ ණය අවශ්‍යතාව රුපියල් බිලියන 4979 ක් පමණ වෙයි. මතක තබාගත යුතු කාරණයක් නම් මේ වන විටත් රට ගෙවීමට ඇති ණය කොටසක් නොගෙවා පැහැර හැරිය පසුබිමක මේ දත්ත ලැබීමය.

අයවැය දත්ත අනුව 2023 වෙනුවෙන් විදෙස් ණය ලෙස රජය රුපියල් බිලියන 1000ක් අපේක්ෂා කර ඇති අතර , ඉතිරි ණය ගැනීමට නියමිත දේශීය වශයෙන්ය. දැන් පවතින කොන්දේසි යටතේ ඩොලරයක් රුපියල් 360 ක් ලෙස ගණනය කළහොත් විදෙස් වෙතින් අපේක්ෂිත රුපියල් බිලියන 1000ක් සපයා ගැනීම කියන්නේ, ඩොලර් බිලියන 2.78ක් ය. 2023 වසරට පමණක් අයවැය හිඟය පියවා ගැනීමට පමණක් ඩොලර් බිලියන 2.78ක් අවශ්‍යව ඇත. බංකොලොත් බව නිල වශයෙන් ප්‍රකාශ කර ඇති රටකට මේ ඉලක්කය සැබවින්ම දුෂ්කරය. බංකොලොත් රටකට ණය දෙන්න තරම් වෙස්සන්තරලා ජාත්‍යන්තරයේ නැත. තිබෙන ණය ප්‍රතිව්‍යුහගත කරගෙන රනිල්ගේ ආණ්ඩුව ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමඟ වැඩසටහනකට යන්න වෙහෙසෙන්නේ මෙන්න මේ අභියෝගය නිසාය. ඒ ගියත් IMF වෙතින් වසරකට ලැබෙන ඩොලර් මිලියන 750 කින් ලොකු වැඩක් කළ නොහැකිය. අයවැය හිඟය පියවා ගන්නට තවත් ඩොලර් බිලියන 2ක් පමණ අවශ්‍යය. නමුත් රටේ ආර්ථිකයට ජීවයක් ලබන්න නම් IMF වැඩසටහනට ඇතුළත්වීම හරහා ලබන සහතිකය තීරණාත්මකය.

මේ 2023 සඳහා පමණක් වන අතර යළි යළිත් ණය ගෙවීම් පැහැර හැරුණහොත් අත්වන ඉරණම හිතන්නවත් අපහසුය. තිබෙන ණය ගෙවමින් ණය ගනිමින්, තවදුරටත් ණය ගැනීම අවම කරගන්නා ගමනක් තුළ වත්කම් වර්ධනය කරගැනීමේ පැහැදිළි අභියෝගය රට හමුවේ ඇත. ඒ සඳහා තවදුරටත් පුරුදු ආකාරයට කොළ අත ඇනීම ප්‍රමාණවත් නොවන බව රට බංකොලොත්වීම විසින්ම තහවුරු කර ඇත. එනිසා දැන් අවශ්‍ය අලුත් ආර්ථික ක්‍රමයක්ය. පවතින ක්‍රමයේ රැඩිකල් වෙනසක්ය. ඒ මොඩලය කුමක්ද යන්නෙහි මූලික රාමුව මේ වන විටත් ජනාධිපති රනිල් පැහැදිලි කර ඇත. පෝලිම් යුගය අවසන්කර අර්බුදයෙන් ගොඩඑන ප්‍රායෝගික සැලැස්ම තමන් සතු බවත් ජනාධිපතිවරයා මේ වන විටත් ඔප්පුකර හමාරය. විදෙස් ශ්‍රමිකයන් වෙතින් ඩොලර් බිලියන 700 ක් කැඳවාගෙන විදෙස් සංචිත අර්බුදය විසඳීම ගැන ටිල්වින්ලා විහිලු කතා කියන්නේ එහෙම පසුබිමකය.

සැබවින්ම ටිල්වින් චින්තනය මේ මොහොතේ සමපාත වන චින්තනයක් ඇත්නම් ඒ මහින්ද චින්තනය මය. ඊට මහින්ද චින්තනය 3 කිව්වද වැරදි නැත. මේ චින්තනයේ ස්වභාවය වන්නේම වත්මන් ක්‍රමය ප්‍රතික්ෂේප කර දේශසීමා ඇතුලේ සියල්ල බේරාගන්න ඇති විශ්වාසයය. වත්මන් ගෝලීය පෙළගැස්ම තුළ ආර්ථිකය දේශසීමා ඉක්මවා ඇති බව පිළිනොගෙන වැඩ කිරීමය. ආර්ථික අර්බුදය පවා දේශසීමා තුළ ඇති රාජ්‍ය බලයේ සියලු අගතීන් යොදවා හෝ කළමනාකරණය කරගත හැකි බවට සඵත වීමය. එය ජනතා අවශ්‍යතාව බව ඔප්පු කරන්න මාරාන්තිකව වෙහෙසීමය. එයින් නොනැවතී සැබෑ දේශප්‍රේමය එය බව තහවුරු කරන්න, බොරු බිල්ලන් මැවීමය.

විදේශගත ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් වෙතින් ලබන ඩොලර් මිලියන 700කින් ගෑස් ඉන්ධන ගෙන්වාගෙන 250ක් ඉතුරු කිරීම විදෙස් සංචිතයේ අර්බුදයට විසඳුම ලෙස සිතීම නැත්නම් කොහොම තේරුම් ගන්නද ? මේ කියන්නේ ”අතීසාරයට අමුඩෙත් එපා. හරියට සෙන්ටර් කරලා තිබ්බොත්, පුළුන් කෑල්ලත් හොඳටම ප්‍රමාණවත්” වගේ කතාවක් නොවේද ? මේ ප්‍රශ්නයේදී පමණක් නොව මේ වන විට රනිල් රාජපක්ෂ ආණ්ඩුව කියා වම්මු නටන කොයි වන්නමෙත් අවසානය එතනය.

තවදුරටත් කියනවා නම්, මේ වම්මුන් කියාගෙන නටන උදවිය රාජ්‍ය අංශය ප්‍රතිව්‍යුහගත කරනවාට විරුද්ධය. විරැකියාව පියවිය යුත්තේද රාජ්‍ය අංශය පුරවමින්ය. ඔවුන්ට විශ්‍රාම වැටුප් ලබාදිය යුතු අතර, වැටුප් වර්ධකද වෘත්තීය සමිති ඉල්ලන ඉල්ලන වෙලාවට සිදුකළ යුතුය. මේ චින්තනයට අනුව පාඩු ලබන ව්‍යවසාය රජය විසින්ම නඩත්තු කළ යුතුය. කිසිවක් පෞද්ගලික අංශයට පැවරිය නොහැක. එසේම බදු අයකිරීමට විරුද්ධය. වක්‍ර බදු ප්‍රතිශතය වැඩි බැවින් සෘජු බදු ප්‍රතිශතය වැඩි කිරීමටත් විරුද්ධය. රජය ණය ගැනීමත් වැරදි අතර රටේ ආයෝජන අවස්ථා ප්‍රවර්ධනය කරන ව්‍යාපෘති වලටද විරුද්ධය. බැලූ බැල්මට මේ විරුද්ධාභාශයෙන් කොහෙන් ගැලවෙන්නද කියා සොයාගත නොහැකි නමුත් මේ උදවියගේ චින්තනය එහෙමය.

රන්ජන් ජයලාල් නම් ජවිපෙ වෘත්තීය සමිති නායකයා ගේ විදුලි බල නාඩගමත් මේ චින්තනයේම දිගුවක්ය. ඒ නාඩගමට ඉතිහාසයක් ඇතත් මේ වන විට කරළියේ රඟදෙන්නේ, රජය විසින් ඉහළ දමන ලද විදුලි ගාස්තු යටතේ විදුලි බිල් ගෙවාගත නොහැකි ජනතාවගේ නිවාස වල විදුලිය විසන්ධි කිරීමේ රාජකාරි වලට සහභාගි නොවීමට සේවකයන් තීරණය කර ඇති බව කියන ජවනිකාවය. ඔහු මේ බව නිවේදනය කරන්නේ ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානය වශයෙන්ය.

මේ වහසි බස් දොඩන්නේ ජනවාරි මාසයේ සිට විදුලි බිල වැඩි කරන බවට විදුලිබල අමාත්‍යවරයා පැවසූ රජයේ තීන්දුව සම්බන්ධයෙන්ය. ඊට අවශ්‍ය අඩුවැඩිය ගන්නේ කබලෙන් ලිපට වැටී සිටින ජනතාවට තව තවත් විදුලි බිල වැඩි කිරීම කිසිසේත්ම සාධාරණ නොවන බව පවසමින්ය.

මේ කතාව ඇතුලේම ජයලාල් නාඩගමත් මහින්ද චින්තනය 3 මිස අනෙකක් නොවේය. විදුලි බල ඇමති කාංචන කියන ආකාරයට පසුගිය මාස 03 විදුලි බල මණ්ඩලයේ සේවක වැටුප් සහ දීමනා වෙනුවෙන් රුපියල් කෝටි 300ක් වැයවී ඇත. ඒ කියන්නේ මාසයකට රුපියල් කෝටි 100ක් ය. අමාත්‍යවරයා පවසන ආකාරයට මෙම වසරේ නොවැම්බර් මාසයේ දී ලංකා විදුලිබල මණ්ඩලයේ ආදායම රුපියල් බිලියන 35.6ක් වන අතර ඔක්තෝබර් මාසයේ එය රුපියල් බිලියන 33.6ක් ය. අමාත්‍යවරයා පෙන්වාදෙන්නේ වත්මන් ගාස්තු ක්‍රමවේදයට අනුව එම ආදායම් වාර්තාකර ඇති බවය.

කෙසේ වෙතත් ජනවාරි මාසයේ දී විදුලි බලාගාර පවත්වාගෙන යාමට අවශ්‍ය නැප්තා හා ඩීසල් සඳහා රුපියල් බිලියන 35ක මුදලක් සහ ගල්අඟුරු සඳහා ගෙවීම් සිදුකිරීම වෙනුවෙන් රුපියල් බිලියන 38.45ක මුදලක් අවශ්‍ය වන බවත් අමාත්‍යවරයා සඳහන් කරයි. විදුලිය මේ තරමින් හෝ සපයා ගන්න නම් ලැබෙන ආදායම් ප්‍රමාණවත් නොවන බව මේ හරහා පැහැදිළිය. ඒ පසුබිමේ දියත්වන ජයලාල්ගේ විදුලි නාඩගම මෙහෙමය. වැටුප් වැඩිවීම් බෝනස් වෙලාවට අවශ්‍යය. වෘත්තීය සමිති කියන ආකාරයට ඒ කටයුතු සිදුවිය යුතුය. මණ්ඩලය ලබන පාඩුව සහ සේවක අතිරික්තය අදාළ නැත.

මණ්ඩලය ලාබ ලබන තැනට පත්කිරීම සඳහා රජය ගෙනෙන යෝජනා කිසිවකට ඔවුන් එකඟ නැති අතර එය සිදුවිය යුතුව ඇත්තේ නාඩගම්කාරයන් කියන ලෙසය. එපමණක් නොව ඉහළ වැටුප් ලබන සේවකයන්ගේ බදු මුදල්ද මණ්ඩලය ගෙවිය යුතුය. විදුලි උත්පාදනය සඳහා මහා පරිමාණ ආයෝජන ගෙනෙනවා නම් එය රජය විසින් කලයුතු අතර එය පෞද්ගලික අංශයට අකැපය. විදුලි කප්පාදුවටත් විරුද්ධය. විදුලි බිල ඉහළ දමනවාටත් විරුද්ධය. මේ ආකාරයට විදුලි නාඩගමේ තර්ජන ගර්ජන බැලූ කළ මෙච්චර කාලයක් විදුලි බල මණ්ඩලය පවත්වාගෙන ඒමත් ලොකු දෙයක්ය. ඉතින් මේ නාඩගමට අවශ්‍ය විදිහට කළොත් තවත් වසර කිහිපයක් යන තැන රටටම සිදුවන්නේ අන්ධකාරයේ තපින්නටය.

සැබවින්ම මේ උදවියගේ ආදර්ශ රාජ්‍යයන්ට පවා අද අත්ව ඇති ඉරණම දෙස බැලුවත් දකින්නට ඇත්තේ ඊට නොදෙවෙනි තත්ත්වයකය. සමාජවාදී කියූ වෙනිසියුලාව ඊට හොඳම නිදසුනක් ලෙස අද ලෝකය හමුවේ ඇත. හියුගෝ චාවේස් බටහිරින් ගේම ඉල්ලා සමාජවාදයේ අනුහස් වෙනිසියුලාවේ පෙන්නුවේ එරට සතුවූ තෙල් සම්පතින්ය. ජනතාවට රජය විසින්ම අධ්‍යාපනය, සෞඛ්‍ය, ආහාර ඇතුළු සියළු පහසුකම් ආනයනය කොට ලබාදුන් අතර එය ලෝකයට පෙන්නුවේ සමාජවාදී ආදර්ශයක් ලෙසය. නමුත් රහස තිබුනේ තෙල් ආදායම තුළය. වෙන කිසිදු ක්ෂේත්‍රයක නිෂ්පාදනයක් එදා වෙනිසියුලාවේ සිදුවුණේ නැත. හදිසි අවස්ථාවක පාවිච්චියට ගැනීමට මුදලක්වත් ඉතිරි කළේ නැත. අර්බුද පැමිණි විට සිදුකළේ තෙල් ආදායම ගැන විශ්වාසය තබමින් දිගින් දිගටම ණය ගැනීමය.

2013 දී චාවේස් මියගිය අතර ඒ වර්ෂයෙන් පසුව ලෝකයේ තෙල්වලට තිබුණු වටිනාකමද අඩු විය. බොරතෙල් බැරලය ඩොලර් 100 සිට ඩොලර් 50 දක්වා කඩාවැටුණ අතර බලයේ සිටියේ චාවේස් විසින්ම තෝරාගත් අනුප්‍රාප්තිකයා වූ නිකොලායි මදුරෝ ය.

අනපේක්ෂිත ලෙස තෙල් ආදායම අඩුවීම හමුවේ රට ණය උගුලක සිර විය. ණය ගෙවීමට අසීරුවූ අතර අලූතෙන් ණය ලබා ගන්නටත් නොහැකි විය. තත්ත්වයෙන් ගැලවෙන්නට මදුරෝ පාලනය එකදිගට අලූතෙන් මුදල් මුද්‍රණය කරනනට පෙළැඹුන අතර අන්තිමේදී වෙනිසියුලානු මුදලේ අගය බලාසිටින වේගයෙන් කඩා වැටිණ. ලෝක වාර්තා තබමින් උද්ධමනය ඉහළ ගියේය. අන්තිමේදී වෙනිසියුලාවේ මුදල් මිටි ගණන් නොකර, කිලෝ ගණන්වලින් කිරන තත්වයට පත්විය. පුරවැසියන් හාමත් වූ අතර මිනිසුන්ට සමාජවාදය තිත්ත විය. දැන් ඇත්තේ එහෙම වෙනිසියුලාවක් වන අතර, වෙනිසියුලානු ආදර්ශය ගැන වීරකතා කියපු ටිල්වින්ලා, අද ගේන යෝජනා ලංකාවත් වෙනිසියුලාවක් කරන්නද ? අප ඊට දෙන නම මහින්ද චින්තන 3 ය.

Ad Widget

Recommended For You

About the Author: Admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *