රැකියා ලබාදෙන බව පවසමින් සංචාරක වීසා මත මෙරට කාන්තාවන් ගෙන්වාගෙන ඕමානයේ සිදුකරගෙන ගිය මිනිස් වෙළෙඳාමේ මෙරට ප්‍රධාන සැකකාරිය අද (21) පෙරවරුවේ අත්අඩංගුවට ගෙන තිබේ.
ඒ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ තැනැත්තන් වෙළෙඳාම, ජාවාරම් විමර්ශන හා සමුද්‍රීය අපරාධ විමර්ශන කොට්ඨාසයට පැමිණ භාරවීමෙන් අනතුරුවය.
ඕමානයේ සිදුකරගෙන ගිය මිනිස් වෙළෙඳාම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ තැනැත්තන් වෙළෙඳාම, ජාවාරම් විමර්ශන හා සමුද්‍රීය අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් මේවන විට පුළුල් විමර්ශනයක් සිදුකරයි.
ඒ එහි අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සමරකෝන් බණ්ඩා මහතාගේ සෘජු අධීක්ෂණය යටතේය.
ඒ අනුව සිදුකළ විමර්ශනවලදී අදාළ මිනිස් ජාවාරම සම්බන්ධයෙන් මෙරට විදේශ රැකියා ආයතනයක නියෝජිතවරියක් සම්බන්ධයෙන් තොරතුරු අනාවරණ වී තිබුණි.
ආශා දිසානායක නම් එම කාන්තාව දඹුල්ලේ පදිංචිකාරියක් වන අතර ඇය පසුගිය කාලය පුරාම සැඟව සිටියේ ඇයව අත්අඩංගුවට ගැනීමට විමර්ශන සිදුකෙරෙනු පසුබිමකය.
ඇය දින ගණනාවක් පොලීසිය මඟහරිමින් සැඟව සිටි පසුබිමක අද පෙරවරුවේ තැනැත්තන් වෙළෙඳාම, ජාවාරම් විමර්ශන හා සමුද්‍රීය අපරාධ විමර්ශන කොට්ඨාසයට පැමිණ භාර වී තිබුණේ නීතීඥවරුන් දෙදෙනෙකුද සමගිනි.
ඒ අනුව මේවන විටත් ඇයගෙන් ප්‍රකාශ සටහන් කරගනිමින් සිටින බව වාර්තා වේ.