තිළිණි ප්‍රියමාලි වංචා කළ රත්‍රංවලින් කොටසක් ඉසුරු බණ්ඩාර ළඟ..?

තිළිණි ප්‍රියමාලි විසින් ලබාගත් බව කියන රත්‍රං කිලෝවකට අධික ප්‍රමාණයෙන් කොටසක් සැකකාර ඉසුරු බණ්ඩාර සතුව පවතින බවට තොරතුරු අනාවරණ වී ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විමර්ශන නිලධාරීන් අධිකරණයට පවසා තිබේ.

ඒ පිළිබඳව තවදුරටත් විමර්ශන සිදුකරන බවද විමර්ශන නිලධාරීන් අධිකරණය හමුවේ අනාවරණ කර ඇත.

ව්‍යාපාරිකයින්ගෙන් රුපියල් කෝටි ගණනක මුදල් වංචා කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වූ තිළිණි ප්‍රියමාලිගේ අනියම් සැමියා බව පැවසෙන ඉසුරු බණ්ඩාර නැමැත්තාව හෙට (19) දිනය දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය අද (18) නියම කළේය.

ඒ සැකකරුව අද කොටුව අතිරේක මෙහෙස්ත්‍රාත්වරිය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවය.

මූල්‍ය වංචා චෝදනා එල්ල වූ තිළිණි ප්‍රියමාලිගේ අනියම් සැමියා බව පැවසෙන ඉසුරු බණ්ඩාර නැමැත්තාව ඊයේ පස්වරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබුණි.

ඒ ලෝක වෙළෙඳ මධ්‍යස්ථානයේ පිහිටි තිකෝ සමූහ ව්‍යාපාරය පිහිටි මහලේදී ව්‍යාපාරිකයෙකුගෙන් රත්‍රං, අමෙරිකානු ඩොලර් සහ ඔස්ට්‍රේලියානු ඩොලර් ලබාගැනීමේ සිද්ධියට අදාළව සිදුකරන විමර්ශන සම්බන්ධයෙන් ප්‍රකාශ ලබාගැනීමෙන් අනතුරුවය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණය හමුවේ කරුණු දක්වමින් සඳහන් කළේ, තිළිණි ප්‍රියමාලි ඇයගේ අනියම් සැමියා වන ඉසුරු බණ්ඩාර සමග 2019 වසරේ ෆේස්බුක් හරහා සම්බන්ධතාවනක් ගොඩනඟාගෙන ඇති බවය.

එමෙන්ම සැකකරු, තිළිණි ප්‍රියමාලි අධ්‍යක්ෂ ධූරය දරන තිකෝ සමූහ ව්‍යාපාරයේ ද අධ්‍යක්ෂවරයෙකු ලෙස කටයුතු කරන බවද විමර්ශන නිලධාරීන් අධිකරණය හමුවේ සඳහන් කළේය.

අධි සුඛෝපභෝගී ජීවිතයක් ගතකර ඇති සැකකරු අවස්ථා 8කදී විදෙස් සංචාර සඳහා එක්වී ඇති බවත් මෙහිදී අනාවරණ වී ඇත.

ඒ අනුව සැකකාරිය විසින් අවස්ථා කිහිපයකදී ඉසුරු බණ්ඩාරට රුපියල් කෝටි 8ක මුදලක් ලබාදී ඇති බවත් අනතුරුව ඔහු විසින් එය ඩොලර් බවට පරිවර්තනය කර ඇති බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් අධිකරණයට දැනුම්දී තිබුණි.

තිළිණි ප්‍රියමාලී විවිධ පුද්ගලයන්ගෙන් මුදල් ලබාගත් අවස්ථා රැසකදී සැකකරු ද එම ස්ථානවල සිට ඇති බවත් එම නිලධාරීන් අධිකරණය හමුවේ සඳහන් කර ඇත.

විමර්ශන නිලධාරීන් අධිකරණයට දැනුම්දී ඇත්තේ තිළිණි ප්‍රියමාලිගේ වංචා ජාලයේ මුල්පෙළ ප්‍රධාන පුද්ගලයෙකු ලෙස ඉසුරු බණ්ඩාර නැමැත්තාව හඳුනාගෙන ඇති බවය.

ඉදිරිපත් වූ කරුණු සලකාබැලූ කොටුව අතිරේක මහෙස්ත්‍රාත්වරිය සැකකරුව හෙට දිනය දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කළාය.

ඒ අනුව හෙට දිනයේදී තිළිණි ප්‍රියමාලිව ද අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

Ad Widget

Recommended For You

About the Author: Admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *