ජනපති දේශගුණික විපර්යාස පිළිබඳ අවධානය යොමු කරයි..
තෙවන චාල්ස් රජු COP 27 සමුළුවට සහභාගී වනු ඇතැයි අපේක්ෂා කෙරේ…
2022 නොවැම්බර් 06 වනදා සිට 18 වනදා දක්වා ඊජිප්තුවේ පැවැත්වෙන COP 27 සමුළුවට තෙවන චාල්ස් රජු සහභාගී විමේ වැදගත්කම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කළේය.
ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ Leader YouTube නාලිකාවේ පසිනි විතානගේ සමග අද (13) සම්මූඛ සාකච්ඡාවකට එක් වෙමිනි.
තෙවන චාල්ස් රජු COP 27 සමුළුවට සහභාගී නොවීමට තීරණය කර ඇති බවට බකිංහැම් මාළිගය ඔක්තෝබර් 02වනදා කළ ප්‍රකාශයකට ප්‍රතිචාර දක්වමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කළේය.
පසුගිය වසරේ COP 26 සමුළුවේ සභාපති සහ බ්‍රිතාන්‍ය අගමැති ලිස් ට්‍රස්ට් මහත්මියගේ අමාත්‍ය මණ්ඩලයේ සාමාජික ආලෝක් ශර්මා මහතා සඳහන් කර සිටියේ තෙවන චාල්ස් රජු මෙවර COP සමුළුට සහභාගී විය යුතු බවයි.
ඔහු මේ බව කියා සිටියේ සමුළුවට සහභාගී නොවන ලෙස බ්‍රිතාන්‍ය අගමැතිණි ලිස් ට්‍රස්ට්, චාල්ස් රජුට නියෝග කළ බවට පළවු වාර්තාවකට ප්‍රතිචාර දක්වමිනි.
බ්‍රිතාන්‍ය ප්‍රවෘත්ති වාර්තාවලට අනුව එවකට වේලස් කුමරු වාර්ෂික සමුළුට සහභාගීවන බව අගවා තිබිණි. තෙවැනි චාල්ස් රජු දේශගුණික විර්යාසවල බලපෑම් අවම කිරීම සඳහා දීර්ඝකාලිනව පෙනී සිටි අයෙක් වන අතර පසුගිය වසරේ COP 26 සමුළුවේ සමාරම්භක දේශනය ද ඔහු විසින් සිදු කළේය.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ දේශගුණික විපර්යාස පිළිබඳ උපදේශකවරයෙකු ලෙස හිටපු නෝර්විජියානු පරිසර අමාත්‍ය එරික් සෝල්හයිම් මහතා පත් කර තිබෙන අතර ලබන මාසයේ ඊජිප්තුවේ පැවැත්වීමට නියමිත Cop 27 සමුළුට ජනාධිපතිවරයා සහභාගීවීමට නියමිතය.