දකුණු කොරියාවේ හා ජපානයේ රැකියා ගැන කියා මුදල් වංචාකළ සැකකරුවන් අල්ලයි

දකුණු කොරියාවේ හා ජපානයේ රැකියා ලබාදෙන බව පවසා මුදල් රැස්කරන පුද්ගලයින් දෙදෙනෙකු ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන ඒකකයේ නිළධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

කුරුණෑගල නගරයේ ප්‍රසිද්ධ ස්ථානයකට තරුණ තරුණියන් රැස් කර දකුණු කොරියාවේ හා ජපානයේ රැකියා ලබා දෙන බව පවසා මුදල් අයකරන බවට කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතාට ලද තොරතුරක් මත ඔහුගේ උපදෙස් පරිදි මෙම විමර්ශනය මෙහෙයවා තිබේ.

ඒ අනුව, විමර්ශන නිළධාරීන් අදාළ ස්ථානය වැටලීම් කළ අතර, එහිදී පුද්ගලයින් දෙදෙනෙකු කුරුණෑගල ප්‍රදේශයේ තරුණ තරුණියන් රැස්කර ජපානයේ හා දකුණු කොරියාවේ රැකියා ලබාදීම සඳහා ලියාපදිංචි ගාස්තු වශයෙන් රු.1500.00 බැගින් මුදල් අයකර ඇති බව හෙළිවිය. එම ස්ථානයේ තිබී රු.77,000.00 ක මුදලක්ද, බර කිරන තරාදිය, ඇස් පෙනීම පරික්ෂා කරන අක්ෂර හා ඉලක්කම් පුවරු දෙකක්, කොරියාවේ හා ජපානයේ නොමිලේ රැකියා ලබාදෙන බව පවසා ප්‍රදර්ශනය කළ බැනරයක් නඩු භාණ්ඩ වශයෙන් විමර්ශන නිළධාරීන් භාරයට ගන්නා ලදී.

කාර්යාංශයේ වලංගු බලපත්‍රයක් නොමැතිව නීති විරෝධිව තරුණ තරුණියන් රැකියා සඳහා බඳවා ගැනීමට උත්සහ කිරීමේ වරදට අදාළ පුද්ගලයින් දෙදෙනා අත්අඩංගුවට ගෙන කුරුණෑගල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ අතර, රුපියල් ලක්ෂ 2 ක ශරීර ඇප මත මුදා හැර තිබේ. නඩුව ඔක්තෝම්බර් 28 දින යළි කැඳවන ලෙස මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.

මෙම වැටලීම සඳහා රවීන්ද්‍ර අබේපාල, සරත් විමලවීර, අයි.එන්.කේ සුමනවීර, එස්.බී.සෝමරත්න යන නිළධාරීන් එක්විය.

Ad Widget

Recommended For You

About the Author: Admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *