ලංකාවට අගයක් නැති කංසා පැළෑටියෙන් රටේම ආර්ථිකය ගොඩදාගත් සුපතල රටවල් මෙන්න..!

යහපත් ආර්ථිකයක් යනු රටක ගාමක බලවේගයයි. එය පිරිහුණු විට රටක ඉදිරි ගමන පමණක් නොව ස්වෛරීභාවය ද තර්ජනයට ලක්වේ. ඉන්දියන් සාගරයේ මුතු ඇටය ලෙස විරාජමානව නම් දරා සිටි අප රට අද ආර්ථිකමය වශයෙන් ක්‍රමක්‍රමයෙන් කබලෙන් ලිපට වැටෙන දිවයිනක් බවට පත්වෙමින් පවතී.

එහි බර දැනෙන්නේ රටක පාලන තන්ත්‍රයේ අසුන්ගත් උදවියට නොව, දිවා රෑ නොබලා වෙහෙසෙන මධ්‍යම පාන්තික සහ අඩු ආදායම් ලාභී ජනතාවගේ පොකට්ටුවටයි.

එවන් තත්ත්වයක් හමුවේ සෞභාග්‍යමත් ආර්ථිකයක් උදෙසා අරගල කිරීමට නිතැතින්ම සිදුවන්නේ කුස පිරෙන සැටි ලිප නොදත් ජනතාවටයි.

විවිධ ආර්ථිකමය අවස්ථාවන් හා තර්ජන මෙන්ම රටක් සතු විවිධ ආර්ථිකමය ශක්තීන් හා දුර්වලතාත් මනාව හඳුනාගත හැකි සබුද්ධික ජනතාවක් අපට අවැසි වේ.

මෙම ලිපියේ අරමුණ එම සබුද්ධික ජනතාව සිය සමාජ වගකීම ඉටුකරලීමට සහ අරගලයකින් තොර අරගලයක් දියත් කිරීමට යොමු කළ හැකි මහා ආර්ථිකමය විභවයක් ඇති ඖෂධීය කංසා ශාකය වෙත ඔවුන්ගේ අවධානය යොමුකරලීමයි.

නූතන යුගයේ කප්රුක ලෙස හැඳීන්විය හැකි කංසා ශාකය ඉතාමත් ඖෂධීය සහ ආර්ථිකමය වටිනාකමක් සහිත ශාකයක් බව මේ වනවිටත් මුළු ලොවම පිලිගෙන හමාරය. එදා හෙළයන්ට කංසා තහනම දැමූ සුදු ජාතිකයින් අද කඩිමුඩියේ සොයන්නේ එදා අප රටේ ඖෂධීය කංසා භාවිතය තම එදිනෙදා ජීවිතයට හෙළයන් ඈඳා ගත් ආකාරයයි.  

විටෙක ඖෂධයක් ලෙස මෙන්ම විටෙක අහරක් ලෙසින්ද, විටෙක පොහොරක් ලෙසින්ද යනාදී විවිධ ස්වරූපයෙන් හෙළ දේශයේ ජීවිතය හිංසා නැති කංසා විසින් පෝෂණය කළ බවට අද බටහිර ජාතීන් පවා සාක්ෂි දරයි.

වර්තමානය වනවිට ලෝක ආර්ථික බලවතුන් වන ඇමරිකාව,චීනය සහ යුරෝපීයයන් දැනටමත් ඖෂධීය කංසා නීතිගතකර හමාරය. ඔවුන් එසේ සිදුකෙරුවේ කුමක් නිසාදැයි විමසාබැලීමක් අප සිදුකළ යුතුමය.

1. කැනඩාව

ලොව සුපතල රොයිටර් පුවත් සේවය වාර්තා කරන පරිදි ඉතාම මෑතකදී ඖෂධීය කංසා සහ ඒ ආශ්‍රිත අනෙකුත් නිෂ්පාදන නීතිගත කළ කැනඩාවේ පළමු සයමස ගතවන්නටත් පෙර ලද බදු අදායම ඇමරිකානු ඩොලර් මිලියන 140කි ($ 140 Million).

මොහොතක් සිතන්න, කැනඩාවේ පළමු සයමස ගතවන්නටත් පෙර ලද බදු අදායම පමණක් අප රටේ ඖෂධීය කංසා භෝගය තුලින් රජය ලද බදු අදායම වුවා නම්, අවම පහසුකම් යටතේ පවත්වාගෙන යන පාසල් කොපමණ සංවර්ධනය කළහැකි ද, පොදු ප්‍රවාහනය වැනි යටිතල පහසුකම් කොපමණ නම් සංවර්ධනය කළහැකි ද, අඩු ආදායම් ලාභී පවුල් ඒකක සඳහා කෙතරම් සහනයක් ලබාදිය හැකිද.

2. ඇමරිකාව

ඇමරිකාවේ ප්‍රාන්ත රාශියකම ඖෂධීය කංසා නීතිගත කෙරුණේ මීට වසර කිහිපයකට පෙරය. ඉකුත් 2019 වසරේ ඇමරිකාවේ කංසා ආශ්‍රිත ඖෂධ සහ අනෙකුත් නිෂ්පාදන වලින් “කොලරාඩෝ” ප්‍රාන්තය පමණක් ලද බදු අදායම ඇමරිකානු ඩොලර් මිලියන තුන්සිය දෙකක් ($ 302 Million) වේ. එය ආසන්න වශයෙන් ශ්‍රී ලංකා මුදලින්  Rs. 56,899,669,000.00 පමණ වන වේ.

ශ්‍රී ලංකාවේ ඉදිකළ මත්තල රාජපක්ෂ අන්තර්ජාතික ගුවන්තොටුපළ සඳහා මුල් ආයෝජන මුදල වුයේ ඇමරිකානු ඩොලර් මිලියන 209ක් ($209 Million) පමණි.

මොහොතක් සිතන්න, කොලරාඩෝ ප්‍රාන්තයේ බදු අදායම පමණක් අප රටේ ඖෂධීය කංසා භෝගය තුලින් රජය ලද බදු අදායම වුවා නම්, තවත් ගුවන්තොටුපලක් කිසිම රටකට අත නොපා ඉදිකර තවත් ඇමරිකානු ඩොලර් මිලියන 93ක ($ 93 Million) අතිරික්තයක් රාජ්‍ය භාණ්ඩාගාරයට ලබා ගැනීමේ විභවය ඇත.

ශ්‍රී ලංකාවේ ඉදිකළ හම්බන්තොට වරාය හෙවත් මාගම්පුර මහින්ද රාජපක්ෂ වරායේ මුල් අදියර සඳහා ආයෝජනය කළ මුදල ඇමරිකානු ඩොලර් මිලියන 361කි ($361 Million).

මොහොතක් සිතන්න, කොලරාඩෝ ප්‍රාන්තයේ බදු අදායම පමණක් අප රටේ ඖෂධීය කංසා භෝගය තුලින් රජය ලද බදු අදායම වුවා නම්, මාගම්පුර වරාය වැනිම තවත් වරායක් ඉදිකිරීමට අවශ්‍ය මුළු ආයෝජනයෙන් 84%කට ආසන්න ප්‍රමාණයක් දේශීය භාණ්ඩාගාරයෙන් ලබා දීමට විභවයක් තිබේ.

3. කොලොම්බියාව

පසුගිය දශක කිහිපයේ ඉතා දරුණු ආර්ථික ගැටළු රැසකට මුහුණපෑ දකුණු ඇමරිකා මහාද්වීපයේ පිහිටා තිබෙන කොලොම්බියා රාජ්‍ය අදවන විට ඉතා සිඝ්‍රයෙන් සංවර්ධනය වෙමින් පවතින රාජ්‍යක් බවට පත්වී ඇත. ඖෂධීය කංසා ඔසුවක් පමණක් නොව ආර්ථික භෝගයක් ලෙසද නීතිගත කළපසු එරට ආර්ථික වර්ධන වේගය ක්‍රමක්‍රමයෙන් ඉහළ ගොස් ඇත.

රොයිටර් පුවත් සේවය වාර්තා කර සිටින්නේ දැන් කොලොම්බියාවට ඖෂධීය කංසා ආශ්‍රිත නිෂ්පාදන  ඇසුරෙන් වාර්ෂිකව ඉපයීමට හැකි විදේශ විනිමය වසරකට ඇමරිකානු ඩොලර් බිලියන 6ක් ($6 Billion) පමණ වන බවයි. එය ආසන්න වශයෙන් ශ්‍රී ලංකා මුදලින් Rs. 1,158,210,000,000.00 පමණ වේ.

මෙවැනි විශාල අදායමක් ලබා ගැනීමට ඔවුන්ට හැකි වී ඇත්තේ කොලොම්බියාවේ පවතින කංසා වැවීමට වඩා උචිත දේශගුණය නිසා ඉතා හොඳ අස්වැන්නක් ලබා ගැනීමට හැකිවීම බව ඔවුන් වාර්තා කර සිටී. එයට ඉහලින්ම දායකත්වය ලබා දී සිටින්නේ එක්සත් ජාතීන්ගේ අන්තර්ජාතික මත්ද්‍රව්‍ය පාලන අධිකාරියයි (United Nations International Narcotics Control Board).

මෙහි වැදගත්ම කරුණ වන්නේ ඖෂධීය කංසා වගාකිරීමට කොලොම්බියාවටත් වඩා ඉතා උචිත දේශගුණයක් සහ අතිශයින්ම සරු පසක් අප රට සතු වීමයි.

මොහොතක් සිතන්න, කොලොම්බියාවේ ඖෂධීය කංසා ආශ්‍රිත නිෂ්පාදන  ඇසුරෙන් වාර්ෂිකව ඉපයීමට හැකි විදේශ විනිමය ප්‍රමාණය වන ඇමරිකානු ඩොලර් බිලියන 6 ($6 Billion) අපත් උපයාගත්තේ නම් ඉතාම කෙටිකාලයක් තුල අති දැවැන්ත ආර්ථිකමය වර්ධනයක් අපට ලඟාකරගත හැක.

අප රටෙහි මහජන සෞඛ්‍යයට,අධ්‍යාපනයට සහ අනිකුත් කර්මාන්ත හා සේවා වැනි අංශයන් හට කිසිදු පැකිලීමකින් තොරව වාර්ෂිකව වෙන් කරන මුල්‍ය අරමුදල් දෙගුණ තෙගුණ කළ හැක.

නවතම පර්යේෂණ දත්ත වාර්තා අනූව වර්ෂ 2025 වනවිට ඇමරිකාවට කංසා ආශ්‍රිත ඖෂධ සහ අනෙකුත් නිෂ්පාදන වලින් ලැබිය හැකි බදු ආදායම පමණක් ඇමරිකානු ඩොලර් බිලියන 105.6 ක් ($105.6 Billion) වේ. එය ආසන්න වශයෙන් ශ්‍රී ලංකා මුදලින්  Rs. 19,896,043,200,000.00 පමණ වේ.

2019 වර්ෂයේ අප රටේ මුළු දළ දේශීය නිෂ්පාදිතයේ වටිනාකම වන්නේ ඇමරිකානු ඩොලර් බිලියන 84.01ක් ($84.01 Billion) පමණි. 2025 වන විට අපගේ ආර්ථිකය කෙබඳු වේවිද?

ආකල්පමය සහ ආර්ථිකමය විප්ලවයකට කාලය එළඹ ඇත. රන් ආකරයක් වැනි ඖෂධීය කංසා ඉල්ලමක් මත නිදා සිටින සැමට සිතන්නට යමක් ඇත. සබුද්ධික මනසකින් දකිමු.

Ad Widget

Recommended For You

About the Author: Admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *