යාල සිද්ධියට ජනපතිත් මැදිහත්වෙයි..!

ඩිෆෙන්ඩර් සහ කැබ්රථ පදවමින් යාල වනෝද්‍යානය තුළ අයථා ලෙස හැසිරුණු පුද්ගලයින් 09 දෙනෙකු අද (26) පෙරවරුවේ වනෝද්‍යාන බලධාරින්ට භාර වී තිබේ.

වනෝද්‍යානය තුළ අයථා ලෙස පැදවූ වාහන 07ක්ද බලධාරින්ට භාරදුන් බව යාල වනෝද්‍යානයේ නියෝජ්‍ය භාරකරු සඳහන් කළේය.

මේ අතර, යාල සිදුවීම සම්බන්ධයෙන් අපක්ෂපාතී පරීක්ෂණයක් පවත්වන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අදාළ බලධාරීන්ට උපදෙස් දී තිබේ.

ඩිෆෙන්ඩර් සහ කැබ්රථවලින් යාල වනෝද්‍යානයේ වනසතුන්ට පමණක් වෙන්වූ සංවේදී පරිසර කලාපයට ඇතුළු වු පිරිසක් එහි රේස් පදිමින්, සතුන්ට හිංසාකාරී ලෙස හැසිරෙන අයුරු දැක්වෙන වීඩියෝ දර්ශන පෙලක් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වුණි.

ඒ අනුව, අයථා ලෙස වාහන පදවමින් වනජීවි හා වෘක්ෂලතා පනත උල්ලංඝනය කිරීමට කටයුතු කිරීම සම්බන්ධයෙන් එම පිරිසට එරෙහිව නෛතික පියවර ගන්නා ලෙස කෘෂිකර්ම වනජීවි හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා අමාත්‍යාංශ ලේකම්වරියට සහ වනජීවි අධ්‍යක්ෂ ජනරාල්වරයාට උපදෙස් දී තිබුණි. 

විෂයභාර අමාත්‍යවරයාගේ උපදෙස් මත ගතයුතු ඉදිරි පියවර සම්බන්ධයෙන්  අමාත්‍යංශ ලේකම් චන්ද්‍රා හේරත් මහත්මිය හා නිලධාරින් අතර  ඊයේ (25) පැවති විශේෂ සාකච්ඡාවකදී, සිදුවීමට සම්බන්ධ පුද්ගලයින් සහ රථ වාහන සම්බන්ධයෙන් කඩිනම් නෛතික පියවර ගැනීමට තිරණය කෙරුණි.

මෙවන් පසුබිමක, වනෝද්‍යානය තුළ අයථා අන්දමින් වාහන පදවමින් සිදුවීමට සම්බන්ධ වූ රියදුරන් 07 දෙනෙකු සහ එම දර්ශන පටිගත කළ පුද්ගලයන් 02නෙකු අද පෙරවරුවේ යාල වනෝද්‍යානයේ බලධාරින් වෙත පැමිණ භාර වී තිබේ.

ඒ අනුව වනෝද්‍යාන බලධාරින්ට භාර වූ පුද්ගලයින් 09 දෙනා සහ ඩිෆෙන්ඩර් සහ කැබ්රථ 07 අද තිස්සමහාරාම මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

මේ අතර යාල වනෝද්‍යානය තුළ මෙම අයථා හැසිරීම සිදුවන අවස්ථාවේ ඒ පිළිබඳව ඉහළ නිලධාරින් දැනුවත් කිරීමට කටයුතු නොකළ යාල වනෝද්‍යානය ආශ්‍රිතව කටයුතු කළ නිලධාරින් සම්බන්ධයෙන් විමර්ශන කටයුතු සිදුකිරීමට ත්‍රිපුද්ගල කමිටුවක් පත් කිරීමට වනජීවි හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශයේ ලේකම් චන්ද්‍රා හේරත් මහත්මිය තීරණය කර තිබේ.

ඒ අනුව, කෘෂිකර්ම හා වනජීවි හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා සමඟ සාකච්ඡා කර අමාත්‍යාංශ අතිරේක ලේකම්වරයෙකුගේ සභාපතිත්වයෙන් මෙම ත්‍රිපුද්ගල කමිටුව පත්කිරීමට කටයුතු කරන බව අමාත්‍යාංශ ලේකම්වරිය නිවේදනය කළේය.

Ad Widget

Recommended For You

About the Author: Admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *