යාල වනෝද්‍යානය තුළදී හිංසාකාරී ලෙස හැසිරුණු පුද්ගලයින්ට සහ එම වාහනවලට වසර තුනක් යනතුරු ශ්‍රී ලංකාව තුළ කිසිදු වනෝද්‍යානයකට ඇතුළු වීමට නොහැකි වන පරිදි අසාදු ලේඛනගත කිරීමට පියවර ගෙන තිබේ.
වනජීවි අධ්‍යක්ෂ ජනරාල් චන්දන සූරියබණ්ඩාර මහතා තීරණය කළේ අමාත්‍යවරයාගේ නියෝගයකට අනුව වනජීවි හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යංශයේ ලේකම් චන්ද්‍රා හේරත් මහත්මියගේ ප්‍රධානත්වයෙන් පැවති සාකච්ඡාවකදී මෙම තීරණය ගත් බවය.
එහිදී ගෙන ඇති සෙසු තීරණ පහතින්.
01.) මෙම සිදුවීමට සම්බන්ධ වාහන හා පුද්ගලයින් කඩිනමින් හඳුනාගැනීම හා ඔවුන්ට එරෙහිව නඩු පැවරීමට තීරණය විය. දැනට එම වාහන හා පුද්ගලයින් සම්බන්ධ තිබෙන තොරතුරුවලට අමතරව ජනමාධ්‍ය හා සමාජ මාධ්‍ය ඔස්සේ පළ වූ තොරතුරු, ඡායාරූප හා වීඩියෝ දර්ශනවල ඇතුළත් තොරතුරු ද සැළකිල්ලට ගැනීම.
02.) මෙම පිරිස සමග වනෝද්‍යානයට ඇතුල්වීමට සහාය වීම සඳහා කටයුතු කළ නිලධාරි පිරිස එම කටයුතු වළක්වා ගැනීමට උත්සාහ නොකිරීම, ඉහළ නිලධාරින් දැනුම්වත් නොකිරීම නිසා විමර්ශන කටයුතු අවසන් වන තෙක් ඔවුන් වැඩ තහනමට ලක් කිරීම.
03.) විමර්ශන කටයුතුවලට සහයෝගය ලබා දෙන ලෙස ඉල්ලා පොලිස්පතිතුමාට වනජීවි අධ්‍යක්ෂ ජනරාල්වරයා මගින් ලිපියක් යොමු කිරීම.
04.) යාල ජාතික වනෝද්‍යානය තුළ අනිසි ලෙස වාහන ධාවනය කරමින් වනසතුන්ට හිංසා වන පරිදි කටයුතු කළ පුද්ගලයින් හා සියලු වාහනවලට වසර තුනක් යන තෙක් ශ්‍රී ලංකාවේ කීසිදු ජාතික වනෝද්‍යානයකට ඇතුළත් නොකිරීමට ඔවුන් හා වාහන කළු ලැයිස්තුවට ඇතුළත් කිරීම. එමෙන්ම මින් ඉදිරියට ජාතික වනෝද්‍යාන තුළ වනසතුන්ට හිංසාවන පරිදි හැසිරෙන පුද්ගලයින් හා කණ්ඩායම් සම්බන්ධව මෙම තීරණය ක්‍රියාත්මක කිරීම.
05.) වනෝද්‍යානය තුළ වනසතුන්ට හිංසා නොවන පරිදි හැසිරීම සම්බන්ධව සෑම දෙස් විදෙස් සංචාරක කණ්ඩායම්වලට දැනුම්වත් කිරීම සඳහා අත්පත්‍රිකාවක් නිකුත් කිරීම.