මහ කන්නයේ වී වගා කරන සෑම ගොවියකුටම බණ්ඩි පොහොර මිල දී ගැනීම සඳහා රුපියල් 10,000ක සහනාධාරයක් ලබා දීමට තීරණය කළ බව ගොවිජන සංවර්ධන කොමසාරිස් ජනරාල් ඒ. එච්.එම්. එල්. අබේරත්න මහතා පවසයි.
මහ කන්නයේ දී ශ්‍රී ලංකාවේ ගොවි ජනතාවට බණ්ඩි පොහොර මිල දී ගැනීම සඳහා ආසියානු සංවර්ධන බැංකුව විසින් රුපියල් කෝටි 1000ක් ලබා දීමට එකඟතාවය පළ කර ඇති අතර එම මුදල යොදා ගනිමින් මෙම සහනාධාරය දෙන බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි.
මෙවර මහ කන්නයේ දී බණ්ඩි පොහොර හෙවත් Muriate of Potash (MOP) පොහොර ආනයනය කිරීමට කෘෂිකර්ම අමාත්‍යාංශය තීරණය කර ඇති අතර ඒ සඳහා ආසියා සංවර්ධන බැංකුව ලබා දී ඇති මුදල ඇමරිකා ඩොලර් මිලියන 40කි.
2021 මහ කන්නයෙන් පසු වී වගාවට බණ්ඩි පොහොර ලබා දෙන ප්‍රථම අවස්ථාව මෙය වන බැවින් සෑම වී වගා කරන ගොවියෙකුටම අවශ්‍ය බණ්ඩි පොහොර ලබා දීමට පියවර ගන්නා ලෙස කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පොහොර බෙදාහැරීම් බාරව කටයුතු කරන සියලු නිලධාරින්ට උපදෙස් දුන්නේය.
ලෝක වෙළෙද පොළේ MOP පොහොර මිල අධික බැවින් ගොවීන්ට මෙම පොහොර මිල දී ගැනීමේ දී කිසියම් සහනයක් සැලසීමේ පියවරක් අනුගමනය කළ යුතු යැයි අමාත්‍යවරයා සඳහන් කළේය.
එම කාරණය සැළකිල්ලට ගනිමින් ආසියා සංවර්ධන බැංකුව වී වගා කරන ගොවි ජනතාවට සහන සැලසීමට රුපියල් කෝටි 1000ක මුදලක් ලබා දීමට නියමිතය