ශ්‍රී ලංකාවේ විදේශීය ණය අර්බුදය විසදීමට තම රටට කළ හැකි සහ කළ යුතු සියලු දේ සිදු කිරීමට සූදානම් බව ජපානය පවසයි.
ජපාන මුදල් අමාත්‍ය ෂුනිචි සුසුකි (Shunichi Suzuki) ඒ බව පැවසුවේ ඊයේ (29) දින ජනපති රනිල් වික්‍රමසිංහ සමඟ පැවති සාකච්ඡාවකින් අනතුරුව පිලිපීනයේ දී පැවති ආසියානු සංවර්ධන බැංකුවේ සමුළුවට සහභාගී වී මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.
”ශ්‍රී ලංකාවට ඩොලර් බිලියන 2.9 ක ණය පහසුකමක් ලබා දීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල එකඟතාව පළකර ඇති අතර, මෙම ණය අර්බුදය විසඳීමට මිත්‍ර රාජ්‍ය සමඟ පවතින සාකච්ඡාවටයක ප්‍රතිඵලයක් ලෙස ජපානයේ සහයෝගය ලබා ගැනීමට රනිල් වික්‍රමසිංහ ජනපතිවරයා සමත්ව ඇත. ” ෂුනිචි සුසුකි කියා සිටියි.
කෙසේවෙතත්, චීනය, ඉන්දියාව ඇතුළු අනෙකුත් ණයහිමි රාජ්‍යවල සහාය ද මේ සඳහා හිමිවිය යුතු බව ජපාන මුදල් අමාත්‍යවරයා අවධාරණය කරයි.
එමෙන්ම, මෙම සහයෝගය ලබා ගැනීම සඳහා අවශ්‍ය තොරතුරු ශ්‍රී ලංකාව විසින් ලබා දිය යුතු බව ජපාන මුදල් අමාත්‍යවරයා පවසා ඇති අතර, අනෙකුත් ණයහිමි රාජ්‍යවල සහයෝගය ද මේ සඳහා ලබා ගැනීමට ශ්‍රී ලංකාව විසින්ම කටයුතු කළ යුතුව ඇති බව ද පෙන්වා දී තිබේ.
එය මෙම ක්‍රියාවලියේ පාරදෘෂ්‍යභාවයට වැදගත් වන බව ෂුනිචි සුසුකි අවධාරණය කරයි.
ජපානය මෙම අදහස් පළ කර ඇත්තේ ශ්‍රී ලංකාවට අමෙරිකානු ඩොලර් බිලියන 2යි දශම 9ක ණය මුදල ලබාදීම සදහා සිය විධායක මණ්ඩලයේ අනුමැතිය හිමිවන කාලසීමාව නිශ්චිතව ප්‍රකාශ කළ නොහැකි බවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ප්‍රකාශ කර ඇති පසුබිමකයි.
ශ්‍රී ලංකාව ණය හිමියන් සමග සිදුකරන සාකච්ඡාවල ප්‍රගතිය මත බොහෝ දේ රඳා පවතිනු ඇති බව ද ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ප්‍රකාශ කර ඇත.
කෙසේවෙතත් ආර්ථික අර්බුදයෙන් ගොඩඒමට ගතයුතු පියවරයන්ට නිසි ක්‍රියාමාර්ග ගන්නේ නම් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් මෙරටට ලැබීමට නියමිත මුදල් ප්‍රමාද වීම ගැටලුවක් නොවන බව ආර්ථික විශ්ලේෂකයින් පවසති.
ලංකාව සමග සහයෝගීතාවයේ සීමාව “අහස” දක්වා දිවෙනවා – ඉන්දියාව
මේ අතර ඉන්දීය තාක්ෂණික සහ ආර්ථික සහයෝගීතාව සඳහා වූ ක්‍රියාදාමයන් ශ්‍රි ලංකාව සමග ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කිරීමට ඉවහල් වූ බව මෙරට ඉන්දීය මහ කොමසාරිස් ගෝපාල් බග්ලේ පවසයි.
ඒ, ඉන්දීය තාක්ෂණික සහ ආර්ථික සහයෝගීතාව සඳහා වූ වැඩසටහන සහ ශ්‍රී ලංකාව අතර පවතින හවුල්කාරීත්වය සැමරීම වෙනුවෙන් පැවැති උත්සවයකට එක්වෙමිනි.
ඉන්දීය මහ කොමසාරිස් ගෝපාල් බග්ලේ පවසන්නේ, ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර සහයෝගීතාවයේ සීමාව “අහස” දක්වා දිවෙන බවයි.