අද (29) දිනයේ තම පක්ෂය සහභාගි වුයේ ජාතික සභාවට මිස ජාතික ආණ්ඩුවකට නොවනබව
දමිළ ප්‍රගතිශීලී සන්ධානයේ නායක, සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝ ගනේෂන් පවසයි.
මන්ත්‍රීවරයා එබව කියා සිටියේ, ජාතික සභා රැස්වීමට සහභාගී වීමෙන් අනතුරුව මාධ්‍යවේදීන් වෙත අදහස් දක්වමිනි.
ඔහු තවදුරටත් මෙසේද පැවසිය.
”පළමුවෙන්ම දෙයක් කිව යුතුයි. අද පැවැත්වුණේ, අපි සහභාගි වුණේ, ජාතික සභාවටයි. ජාතික ආණ්ඩුව නෙවෙයි. ජාතික ආණ්ඩුවේ කොටස්කරුවන් වීමේ අවශ්‍යතාවය දමිළ ප්‍රගතිශීලී සන්ධානයට නෑ. ”
”ජාතික සභාවේ ආණ්ඩු පක්ෂ, විපක්ෂ කණ්ඩායම් වල පක්ෂ නායකයන් හා නියෝජිතයන් සහභාගි වෙලා අනාගතය විශිෂ්ටවත් කිරීම සම්බන්ධයෙන්, ප්‍රතිසංස්කරණය කිරීම සම්බන්ධයෙන් අපි සාකච්ඡා කළා. ”
”විපක්ෂය වෙනුවෙන් දමිළ ප්‍රගතිශීලී සන්ධානය, ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය, අකිල ඉලංකෛ මක්කල් කොංග්‍රසය යන අපේ සන්ධානයේ පක්ෂවල් සහභාගි වුණා. ආරම්භයේදී සහභාගි නොවීමට තීරණය කළද, පසුව තමන්ගේ ජ්‍යේෂ්ඨ සාමාජික ලක්ෂ්මන් කිරිඇල්ල හරහා සමගි ජන බලවේගය සහභාගී වුණා. ”
දමිළ ජනතාවගේ ඉතිහාසය දකින විට එහිදී විශේෂයෙන්, සම්පූර්ණයෙන්ම මග හැරුණු අවස්ථාවන් වැඩිවශයෙන් තිබීම අපි අවබෝධ කරගෙන තිබෙනවා.
අවස්ථාවක් ලැබෙන විට විවිධ හේතුන් මත ඒවා මග හැරෙන බව දමිළ ප්‍රගතිශීලී සන්ධානය හිතනවා. එම හේතුව නිසාම ලැබෙන සියලූ අවස්ථා, සියලු වේදිකාව පාවිච්චි කිරීමට අපි තීරණය කර තිබෙනවා. එම වේදිකාවල් හා අවස්ථාවල් පාවිච්චි කරමින් අපි නියෝජනය කරන ජනතාවගේ විශේෂයෙන් ආන්තික ජනතාවගේ අසරණ භාවය, වේදනාව හා දිලිඳු භාවය පෙන්වා දෙන්නත්, හඬ නගන්නත්, අරගල කරන්නත් අපි පාවිච්චි කරනවා.
”නමුත් ඒකෙ තේරුම අඛණ්ඩව, නිකම්ම, මෙම සභාවල් කතා කියන සභාවල් ලෙස තිබෙනවා නම් මෙම සභාවලින් පිට වෙන්න අපි පසුබට වෙන්නේ නැහැ කියලත් අපි කියලා තියෙනවා.”
විශේෂයෙන් අද පලවෙනි දවසේ මුදල් සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවට ඇති වගකීම් ගැන අපි සාකච්ඡා කළා. කෝප් හා කෝපා යන මුදල් අධීක්ෂණයට සම්බන්ධ වූ පාර්ලිමේන්තු කමිටු දෙකක සභාපති ධුරය විපක්ෂයට ලබා දෙන ලෙස ඒකාබද්ධව අපි ඉල්ලීම් කළා.
වසර දෙකකට පෙර ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති වශයෙන් පත්වූ කාලයේ සිට සමගි ජන සන්ධානය ලෙස අපි මෙම ඉල්ලීම ඉදිරිපත් කරමින් සිටියේ. නමුත් ඒක ප්‍රතික්ෂේප කළ ගෝඨාභය ආණ්ඩුව තමන්ගේම මන්ත්‍රීවරුන්ව එම කමිටුවල සභාපතිධුරය ලබා දුන්නා.
මේ නිසා තමයි ඇත්ත දැන ගැනීමට බැරි අවස්ථාවක් ජනතාවට ඇති වුණා. නොකඩවා පාර්ලිමේන්තුවට පැමිණි ඇමතිවරුන්, මන්ත්‍රීවරුන් හා මෙම කමිටුවල සභාපතිවරුන් රටේ ඇති තරම් සල්ලි තිබෙනවා, මුදල් තිබෙනවා, ඩොලර් තිබෙනවා දුක් වෙන්න එපා කියලා රටේ ජනතාවට බොරු කිව්වා. පාර්ලිමේන්තුවේ බොරු කිව්වා. නැහැ, රටේ සල්ලි නෑ කියලා කියපු අපිට බැන්නා.
නමුත් අවසානයේ භාණ්ඩාගාරය ඉස් වෙලා ආණ්ඩුව අනිත් පැත්තට පෙරලුනාම තමයි ඇත්ත රටේ ජනතාවට දැනගන්ඩ ලැබුණේ. මෙම මෝඩ ආණ්ඩුවේ නායකයින්ටත් තේරුණේ.
රජයට පක්ෂපාතී නිලධාරීන් විශේෂයෙන් හිටපු මහබැංකු අධිපති ඇතුළුව නිලධාරීන් ආණ්ඩුවේ නායකයන්ට ඇත්ත කිව්වේ නෑ. ඇත්ත තත්වය සොයා ගැනීමේ හැකියාවක්ද ඇමතිවරුන්ට, නායකයන්ට තිබුණේ නැහැ. මේක සිදුවුණා.
මේකේ ප්‍රතිවිපාකය අද මුළු රටම අත්විඳිනවා.
අපි අද මේ දේවල් පැහැදිලි කර දීමෙන් විපක්ෂ කණ්ඩායම් වලට මෙම කමිටුවල සභාපතිත්වය ලබාදීම රටටත්, ප්‍රජාතන්ත්‍රවාදයටත් නිවැරදි, ගැලපෙන දෙයක් බව අපි කියලා තිබුණා. අද විපක්ෂයේ සිටින අපි හෙට ආණ්ඩු පක්ෂයේ වාඩි වෙනකොටත් අද ආණ්ඩු පක්ෂය විපක්ෂය වෙනවා. එතකොටත් මෙම ප්‍රතිපත්තියම පිළිගැනීමට අපි සූදානම් බවත් පෙන්වා දුන්නා.
අපේ ඉල්ලීම ගැන අවසාන තීරණය නොගත්තට මේ සම්බන්ධයෙන් විශ්වාසය ගොඩනැගෙන ආකාරයෙන් අගමැති දිනේෂ් ගුණවර්ධන උත්තර දීලා තිබුණා. එනිසා ඊළඟ රැස්වීමේදී මේ සම්බන්ධයෙන් තීරණයක් ගනී කියලා මම බලාපොරොත්තු වෙනවා.
මේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තු කමිටු පත්කිරීමේ, සාමාජිකයන්ව තීරණය කරන, සභාපති ධූරයන් තීරණය කරන බලය ජාතික සභාවට තිබෙනවා.
සෑම පාර්ලිමේන්තු සතියෙන් ම බ්‍රහස්පතින්දා සවස 3ට මෙම සභාව රැස්වීමටත් අපි තීරණය කළා.
ඒවගේම සභාව තුළ සාමාජිකයන් අතර පක්ෂවල් අතර හොඳ සම්බන්ධතාවයක් තිබීමට අවශ්‍ය නම් ඒකෙ සහභාගි වන සියලුම පක්ෂ වලට තමන්ගෙ සාමාජිකයන් කවුරුන්ද කියලා තීරණය කරන අයිතිය තිබිය යුතු බව තීරණය කළා.
පක්ෂ වලින් වෙන් වෙලා ගිය සාමාජිකයන් වෙනත් නමින් මෙම සභාවේ තනි පක්ෂයක් ලෙස සහභාගි වීමට අවස්ථාව ලබා දෙනවා නම් ජාතික සභාව තුළ තිබෙන සහයෝගය බිඳ වැටීමට අවස්ථාව තිබෙන බවත් අපි පෙන්වා දුන්නා.
මේ සියළු දේවල් වලට ඇහුම්කන් දුන් ජාතික සභාවේ සභාපති කතානායක හා අගමැති යන අය විසින් සාධාරණ විසඳුම් ලබාදෙන බව පොරොන්දු වුණා. අපි ඉවසලා බලමු.” මනෝ ගනේෂන් කියා සිටියේය.
මොකද්ද මේ අද රැස්වුන ජාතික සභාව ?
පසුගිය ජුලි මාසයේදී ජනාධිපති ධුරයට පත්වු රනිල් වික්‍රමසිංහගේ බලාපොරොත්තුව වුණේ, ජාතික ආණ්ඩුවක් පිහිටුවීමටය. අවස්ථා කිහිපයකදීම ජනාධිපතිවරයා ඒ සඳහා සියලු දේශපාලන පක්ෂවලට විවෘත ආරාධනාවක් කළේය.
එහෙත් සමගි ජනබලවේගය, ජාතික ජනබලවේගය ඇතුලු පක්ෂ ඊට එකඟතාව පළ නොකළහ. අනතුරුව ජාතික ආණ්ඩුව පසෙක තබා, ජාතික ගැටලුවලට විසඳුම් සෙවීම සඳහා ජාතික සභාවක් පිහිටුවීමට යෝජනා විය.
ඒ අනුව ‘ජාතික සභාවේ’ සමාරම්භක රැස්වීම සැප්තැම්බර් 29 වැනිදා පෙරවරු 10.30 ට පාර්ලිමේන්තුවේදී කථානායක මහින්ද යාපා අබේවර්ධනගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීය.
අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධනගේ යෝජනාවක් අනුව ස්ථාපිත කෙරුණු පිළිගත් දේශපාලන පක්ෂවල පාර්ලිමේන්තුව නියෝජනය කරන මන්ත්‍රීවරුන්ගෙන් සමන්විත ‘ජාතික සභාව’ සඳහා දැනට නම් ලබා දී ඇති පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ලේඛනය කතානායකතුමා පාර්ලිමේන්තුවට පසුගිය 23 වැනිදා ඉදිරිපත් කළේය.
අද පැවති ‘ජාතික සභා’ රැස්වීමට අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන, සභානායක අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත, ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මෙන්ම විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල ද අසංක නවරත්න, රවුෆ් හකීම්, රිෂාඩ් බදියුදීන්, මනෝ ගනේෂන්, පලනි දිගම්බරම්, ජීවන් තොන්ඩමන්, සිසිර ජයකොඩි, නාමල් රාජපක්ෂ, ජොන්ස්ටන් ප්‍රනාන්දු, සාගර කාරියවසම්, අලි සබ්‍රි රහීම්, රෝහිත අබේගුණවර්ධන, වජිර අබේවර්ධන, අමාත්‍ය ටිරාන් අලස්, ශිවනේෂතුරෙයි චන්ද්‍රකාන්තන්, චම්පික රණවක ඇතුළු පාර්ලිමේන්තු මන්ත්‍රීවරු රැසක් එක්ව සිටියහ.
මුලින්ම සහභාගි වීම ප්‍රතික්ෂේප කළ සමගි ජන බලවේගය වෙනුවෙන් ලක්ෂ්මන් කිරිඇල්ල මන්ත්‍රීවරයා ප්‍රමාද වී මෙම අවසතාවට සහභාගි වීම සුවිශේෂී කාරණයකි.
පාර්ලිමේන්තු මහ ලේකම් ධම්මික දසනායක ද මෙම අවස්ථාවට එක්විය.