පාස්කු දින ප‍්‍රහාරය දේශපාලනීකරණය හෝ ජාති වාදී නොකළ යුතු බවත් එසේ කළහොත් ඇත්ත වශයෙන්ම ජාතිවාදී චින්තනයේ සිටින මිනිසුන්ව සොයා නොගෙන නිවැරදි මිනිසුන් පසු පස යාම සිදු වන බව අධිකරණ අමාත්‍ය අලි සබ්රි මහතා අද (07) පාර්ලිමේන්තුවේ දී සඳහන් කළේය.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කිසිසේත්ම පාස්කු ප්‍රහාරයට සම්බන්ධ කිසිදු වැරදිකරුවකුට කිසිම සමාවක් නොදෙන බව අධිකරණ අමාත්‍යවරයා අවධාරණය කළේය. පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතාරණ මහතා විසින් යොමුකළ වාචික පැනයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් ස්වාධීන ලෙස සාක්ෂි සොයා ගෙන ගොස් , වැරදි කරුවන්ට දඩුවම් ලබා දීමටත් , නිවැරදිකරුවන් මුදා හැරීමටත් , වගකිවයුත්තන්ට දඩුවම් ලබා දීමත් සිදු කළ යුතු බවද අධිකරණ අමාත්‍යවරයා පැවසීය.
මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අධිකරණ අමාත්‍යවරයා පැවසුවේ පාස්කු කොමිසමේ කටයුතු ඉතා ස්වාධීන ව සිදු වන බවත් අවසාන වාර්තාව ලැබුණු විගසම ඒ සම්බන්ධයෙන් අධිකරණයේ අධි චෝදනා නිකුත් කරන බව නීතිපතිවරයා සඳහන් කර ඇති බවයි.