අක්කර 40 ක පමණ ගම්මිරිස් වගාකර ඇති; ඇඹිලිපිටිය ප්රාදේශීය ලේකම් කොට්ඨාසයේ දබරැල්ල කොලණිය වත්ත හිමි ප්රධාන පෙළේ ගම්මිරිස් වගාකරුවකු වන ටී. එම්. පියදාස මහතා පවසා සිටින්නේ රු. 1500 ක පමණ මිලකට තිබූ ගම්මිරිස් මිල මේ වන විට රු. 400 දක්වා පහළ බැස ඇති බවත් රත්නපුර හා හම්බන්තොට යන දිස්ත්රික්කවල ගම්මිරිස් වගාව සාර්ථකව පවත්වාගෙන ගියත් ජනතාවට එම අස්වැන්න තුළින් සරිලන ආදායමක් ලබා ගැනීමට නොහැකි වී ඇති බවත්ය.
“තාමත් ගම්මිරිස්වලට නිසි මිලක් ගන්න ක්රමවේදයක් රජයෙන් හදලා නෑ. මේ පළාත්වල වැඩියෙන් ඉන්නේ ගම්මිරිස් වගාකරන ගොවියෝ. කොලොන්න, මිද්දෙනිය, කටුවන, පල්ලෙබැද්ද, ගොඩකවෙල සියලූම ගොවීන් අසරණ වෙලා පොහොර දෙනවා කීවට අපට කවදාවත් පොහොර ලැබිලා නෑ. පොල්වලටත් එහෙමයි. රිළා, වඳුරු, දඬුලේන්නු වැනි සතුන්ගෙන් නිරන්තර හානි පැමිණෙනවා. ගොවියාට වස බොන්න වෙලා තියෙන්නේ. අපිට වගා කරන්න කීවාට නිසි පහසුකම් නිසි මිලක් ගන්න ක්රමවේදයක්, ජාතික වැඩපිළිවෙළක් රජය සැකසිය යුතුයි. රජය මැදිහත් වෙලා අපේ නිෂ්පාදන බෝග ටික අරගෙන පිටරටකට පටවලා අපට මුදලක් අරගෙන දෙන්න. එතකොට අපට දෙපයින් නැ`ගිට ගන්න පුළුවන්. මිලක් නොමැති කමින් කඩන කුලියවත් ගෙවා ගන්නා බැහැ. දැනට විශාල ප්රමාණයක් අපි අතහැරලයි තියෙන්නේ. ඉකුත් කාලයේ සිට ගම්මිරිස් ප්රති අපනයනය කිරීම හේතුවෙන් ලංකාවේ ගම්මිරිස් ගොවියා අන්ත අසරණ භාවයට පත් වූයේ තමන් විශාල මුදලක් වැය කරමින් නිසි ප්රමිතියෙන් යුතුව වගාකර නෙළා ගන්නා ගම්මිරිස් අස්වැන්නට නිසි මිලක් නොලැබීම හේතුවෙන්” බවත් ඔහු වැඩිදුරටත් සිය කණස්සල්ල ප්රකාශ කරමින් පවසා සිටියේය.